තවත් රාජ්‍ය ඇමැතිවරයකුගේ පට්ටම ගැලවේ ?


(සුජිත් හේවාජුලිගේ)   

නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය බුද්ධි අංශවලින් සම්පූර්ණ වාර්තාවක් දැනටමත් ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග ජනාධිපතිවරයා සිද්ධිය කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇතැයි සඳහන් කරයි.   


ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු කිසියම් වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.   


චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අමාත්‍ය පදවිය මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද සඳහන් වේ. මෙහි ව්‍යාපාරිකයා කලකට පෙර විදේශගතව ඇතැයි පැවසෙන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය. 

 
ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලනඥයන් මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටී.