තහනම මැද 2020 දී කෝටි හැටතුන්ද‌ාහක රට බඩු ගෙනත්


 

  • සරුංගල් ඇතුළු සෙල්ලම් බඩුවලට කෝටි 984ක්
  • සුවඳ විලවුන්වලට කෝටි 1775ක්
  • එළවළු පලතුරුවලට කෝටි 18,382ක්
  • චීස් බටර්වලට කෝටි 336ක් 

 

සුජිත් හේවාජුලිගේ

රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේ දී විවිධ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ (තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63,477ක පමණ මුදලක් වැයකර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයක දී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරට දී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බව ද ප්‍රකාශ කළේය.  


මේ අධ්‍යයනයේ දී හෙළි වූ තොරතුරු අනුව පැන්සල්, පෑන්, මකන සහ තීන්ත, රිබන් සඳහා රුපියල් කෝටි 215ක් ද සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු සඳහා රුපියල් කෝටි 984ක් ද ඔළුව පීරන පනා සඳහා කෝටි 31ක් ද කොහු ඉදල් සඳහා කෝටි 35ක් ද වතුර බෝතල් සඳහා කෝටි 55ක් ද අවි ආයුධ සඳහා කෝටි 95ක් ද සපත්තු කුඩ, හිස්, වැසුම් සඳහා කෝටි 655ක් ද සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය සඳහා කෝටි 956ක්ද, සුවඳ විලවුන් ක්‍රීම් වර්ග සඳහා කෝටි 1775ක් ද පලතුරු යුෂ වර්ග සඳහා කෝටි 74ක් ද චීස් හා බටර් සඳහා කෝටි 336ක් ද එළවළු සහ පලතුරු සඳහා රුපියල් කෝටි 18,382ක් ද (ඩොලර් මිලියන නවසිය විසි හතරක්) විවිධ ගෘහ භාණ්ඩ සඳහා කෝටි 19,000ක් ද සත්ව සම් සඳහා කෝටි 493ක් ද ප්ලාස්ටික් සහ රබර් සඳහා කෝටි 18522ක් ද වැයකර ඇතැයි එම සමීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වී ඇත.  


එළවළු පලතුරු සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 18,382ක මුදලින් තෙල් නැව් 19ක් ද ගෘහ භාණ්ඩ ගෙන්වීමට වැයවූ රුපියල් කෝටි 1869ක මුදලින් තෙල් නැව් දෙකක් ද ප්ලාස්ටික් සහ රබර් ගෙන්වීමට වැයවූ රුපියල් කෝටි 18522ක මුදලින් තෙල් නැව් 19ක් ද ගැනීමට හැකියාව තිබුණු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවැසීය. මහාචාර්ය අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත.