තෙල් සංස්ථාවට කෝටි 1000ක ණයක් ගන්න යයි


(දයාසීලි ලියනගේ)  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට රුපියල් කෝටි 1000ක මුදලක් ණයට ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විසින් මේ සඳහා වන පත්‍රිකාව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 
බොර තෙල් මිලදී ගැනීම සඳහා මෙම මුදල් ණයට ගන්නා බව පත්‍රිකාවේ සඳහන් කර ඇත.  


එම ණය මුදල ලබා ගන්නා ආකාරය පිළිබඳව අදාළ පත්‍රිකාවේ සඳහන් කර නොමැති බවද වාර්තා වේ.  
මෙතෙක් කාලයක් සංස්ථාව තෙල් මිලදී ගනු ලැබුවේ ණයවර ලිපි ඉදිරිපත් කිරීමෙනි. සංස්ථාව මූලික වී ණයක් ලබා ගන්නා පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.  


මෙම පත්‍රිකාව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ බව සඳහන් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) වරුණ වීරසූරිය මහතාට දුරකතනයෙන් කතා කර බොර තෙල් ගෙන්වීම සඳහා ඩොලර් නොව රුපියල්වලින් ණය ගැනීම පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ තමන්ට තොරතුරු දීමට නොහැකි බවත් තොරතුරු නිලධාරිනියගෙන් විමසන ලෙසටත්ය.  


තොරතුරු නිලධාරිනිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකි විය.