දැවි තෙල් මිල ඉහළ යාමෙන් විදුලිබිල යළි වැඩිවේද?


 

දයාසීලි ලියනගේ   

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා අලෙවිකරනු ලබන දැවි තෙල් ලීටරයක මිල රුපියල් 320 සිට 385 දක්වා වැඩිකර තිබීම නිසා විදුලි බිල යළි රුපියල් 4 කින් වැඩි කිරීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ. 

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඩීසල්, නැප්තා හා දැවිතෙල් විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ලබන අතර මෙයින් වැඩි වශයෙන් පාවිච්චි කරනු ලබන්නේ දැවිතෙල් බව සඳහන් වේ.   


විදුලිබල මණ්ඩලය දිනකට දැවිතෙල් මෙ.ටොන් 2500 ක පමණ ප්‍රමාණයක් පාවිච්චි කරනු ලබන අතර ගිය සතියේ සිට දැවිතෙල් මිල වැඩි කිරීම නිසා මණ්ඩලයට මසකට රුපියල් බිලියන 5 ක මුදලක් වැඩිපුර වියදම් වන බව එහි ප්‍රකාශකයෙක් කීය.   


මේ වියදම මණ්ඩලයට දරා ගැනීමට නොහැකි නිසා විදුලිය ඒකකයක් අඩුම වශයෙන් රුපියල් 4.00 කින් වත් වැඩි කිරීමට යෝජනා වනු ඇතැයි ද ඔහු කීය.   


මේ ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ දැවි තෙල් වල සල්ෆර් ප්‍රමාණය අඩු කිරීමට ඩීසල් මිශ්‍ර කිරීමට සිදු වී ඇති නිසා මිල වැඩි කිරීම සිදුකළ බවයි.   


මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ ජනතාවට තවත් විදුලිබිල වැඩිකිරීම නොකළ යුතු නිසා දැවි තෙල් මිල වැඩි කිරීම නොකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටි බවයි.