දිවයින පුරා නායයෑම් අවදානම් කලාප 12,500ක් - ජාතික ගොඩනැඟිලි පර්‌යේෂණ ආයතනය


වර්ෂා සමරසිංහ

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්ක පහක් ආවරණය වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්‌යේෂණ ආයතනය විසින් දිවයින පුරා සිදුකරන ලද පුළුල් සමීක්ෂණයේදී නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ සහ ස්ථාන 12,500ක් හඳුනාගෙන ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස ඒකක 54,000ක් පමණ මේ වන විට පරීක්ෂාවට ලක් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ නායයෑම් පර්‌යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ලක්සිරි ඉන්ද්‍රතිලක ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ, නායයෑමේ දැඩි අවදානමට ලක්විය හැකි සහ ඉදිරියේදී එවැනි අවදානම්වලට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගැනීම වෙනුවෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව නුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් එම සමීක්ෂණය පැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය. 

එම දිස්ත්‍රික්කවල සිදු කළ පරීක්ෂණවලට අනුව, පවුල් සහ නිවාස 54,000ක් අතරින් මේ වන විට පවුල් 17,500ක් අධි අවදානම් ප්‍රදේශවල සිටින බැවින් එම නිවාසවල පදිංචි පුද්ගලයන් ආරක්ෂිතව වෙනත් ස්ථාන වෙත ඉවත් කර පදිංචි කරවීමට පියවර ගෙන ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉතිරි පවුල් වෙනුවෙන්ද අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් නැවත පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව ද මෙම නැවත පදිංචිකිරීම් සිදු කිරීමේදී ප්‍රධාන ක්‍රමවේද තුනක් අනුගමනය කරන අතර, රජයේ ඉඩම් ලබා දී ඒවායේ නිවාස තනා ගැනීම, තමන් විසින්ම වෙනත් සුදුසු ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර ගැනීම මෙන්ම ගෙවල් සහිත ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම ආදී ක්‍රම මේ සඳහා යොදා ගන්නා බවද ඔහු පැවසුවේය.

එසේම තාවකාලිකව ඉවත් කරන ලද පවුල් යළිත් අනාරක්ෂිත වැසි සමයන්හිදී අවදානමට ලක් නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගනිමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.