දුරකථන සක්‍රියව තියාගන්න දේශපාලන උණුසුම මැද මන්ත්‍රීන්ට රට සවාරි තහනම්


පක්ෂ නායකයන්ගෙන් දැනුම්දීමක්

(සුජිත් හේවාජුලිගේ)   

අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. 

විදේශයන්ට ගොස් සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේ දැනුම් දීමත් සමඟ හදිසියේම මෙරටට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.


මතුවී ඇති දේශපාලන අර්බුදය සමඟ විවිධ සාකච්ඡා නිරන්තරව සිදුවන තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් ඒවාට සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දිනුම්දීම කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.   


මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම යෝජනා කතානායකවරයාට බාරදීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ඒ යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් හදිසියේ පැවැත්වීමට ඉඩ ඇති හෙයින් ඒවාට සක්‍රීයව සූදානමින් සිටීම වැදගත් වන බව පක්ෂ නායකයෝ පවසති.   
එසේම සිය ජංගම දුරකතන මේ කාලයේදී සක්‍රීයව තබා ගන්නා ලෙසද ඒ ඒ පක්ෂ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.