ධීවර ගැටලුවට විසඳුම් සොයා ඉන්දියාව සමග සාකච්ඡාවක් - ධීවර ඇමැති


සජිනි ගුරුගේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා මේ මාසය ඇතුළත ඉන්දීය නිලධාරීන් සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරන බොටම් ට්‍රෝලිං ක්‍රමය හේතුවෙන් මෙරට සාගර පතුලට මෙන්ම දේශීය ධීවරයන්ගේ දැල් ආම්පන්නවලට ද දැඩි හානි සිදුවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ, තමිල්නාඩුවේ දේශපාලනඥයන් සහ ධනපති ව්‍යාපාරිකයන් මේවායේ හිමිකරුවන් වීම හේතුවෙන් තමිල්නාඩු රජය මීට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි. 

කෙසේ වෙතත්, නීතිවිරෝධී ලෙස මුහුදු සීමා උල්ලංඝනය කරන යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරම, මේ පිළිබඳව ඉන්දීය බලධාරීන්, ඉන්දීය මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කරමින් ඉදිරියේදී ඉන්දීය රජය සමඟ ද සෘජු සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.