නවසීලන්ත පිහි ඇණුම්කාරයා ලාංකික තරුණයෙක්


ඕක්ලන්ඩ්හිදීය (රොයිටර්)   

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටි ජනතාවට පෙරේදා (3) පිහි ප්‍රහාරයක් එල්ල වීමෙන් 6 දෙනෙක් තුවාල ලැබූහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය එල්ල කළේ ‘අයි.එස්.අයි.එස්’ ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුත කරන අන්තවාදී අදහස් ඇති මුස්ලිම් තරුණයකු බවත් ඔහු නවසීලන්තයේ පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය‍.   

පිහි ප්‍රහාරය එල්ල වූයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ‘ලින්මොල්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිටි පිරිස් වෙතටය. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍ ඔවුන්ගේ බෙල්ලටත් පපුවටත් පිහි ප්‍රහාර එල්ල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ ඕක්ලන්ඩ් නුවර ‘වෙයිටකෙරේ’ සහ ‘මිඩ්ල්මෝ’ රෝහල්වලට යැයි ද පැවැසිණි.   


ප්‍රහාරකයා 32 හැවිරිදි තරුණයකු බව පැවැසුවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රහාරකයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය කළේ නැත. අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ නවසීලන්ත ආරක්ෂක අංශ 2016 වසරේ සිට එම තරුණයා ගැන විමසිල්ලෙන් පසුවුණු බවය. තරුණයා නවසීලන්තයේ පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදීය.   


ආරක්ෂක අංශ තරුණයා ගැන විමසිල්ලෙන් පසුවී ඇත්තේ ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ වීඩියෝ නැරැඹීම, ඒවා මිතුරන් අතරේ බෙදා හැරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රසිද්ධියට පත් කිරීම නිසාය. ඒ අනුව 2016 වසරේ සිට පැය 24 පුරා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තරුණයා ගැන විමසිල්ලෙන් පසුවුණු බව පැවැසෙයි.   


ආරක්ෂක අංශ එම තරුණයා ගැන මීට පෙර තමන් දැනුවත් කර තිබුණු බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළාය. මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වී සිටියේය. නවසීලන්ත ආරක්ෂක අංශ එරට බිහිසුණුම අන්තවාදියකු ලෙස හඳුනා ගෙන, විමසිල්ලෙන් පසුවුණු තැනැත්තකු ලෙස මෙම තරුණයා හඳුන්වා දිය හැකි යැයි පොලිස්පති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.   


තරුණයා ‘ලින්මොල්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයට යද්දී, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස ඔහුට හොරෙන් ගිය බව පැවැසෙයි. තරුණයා ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙ‍ළෙඳ සංකීර්ණයේ තිබුණු පිහියකිනි. තරුණයා පහරදීම ආරම්භ කර තත්ත්පර 60 ක් වැනි කෙටි කාලයක් ඇතුළත පොලිස් කණ්ඩායම ඔහු වට කර, ඔහුට යටත් වෙන්නැයි අණ දී තිබේ. තරුණයා යටත් වීම ප්‍රතික්ෂේප කිරීමත් ඔහු පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ඔහුට වෙඩි තැබූ බව පොලිස්පතිවරයා පවසා ඇත.   
සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, ප්‍රහාරකයා හිටිහැටියේ ප්‍රචණ්ඩකාරී වෙමින් දකින දකින සැමට පිහියෙන් අනින්නට වූ බවය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණත් ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයේ බොහෝ දෙනකු සිටි බව පැවැසෙයි. ඒ, වෙළෙඳ සංකීර්ණයේ ඔසුහල හරහා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවුණු බැවිනි.