නැව් තෙල් ඉවත් කිරීම අවිධිමත් ඩොලර් බිලියන 10 ක පාඩුවක්


(දයාසීලි ලියනගේ)    

නැව් වලින් දැවි තෙල් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක මුදලක් වාර්ෂිකව අහිමි වන බව අනාවරණය වී ඇත.   

මේ බව කොළඹ තටාකාංගනය සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කීය.   


නැව් වලින් ඉවත් කෙරෙන දැවි තෙල් ඒ ඒ රටවල්වල වරායවලට මුදලට විකිණීම ජාත්‍යන්තර නීතිය වුවත්, අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයින් මෙම දැවි තෙල් මුදලට ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නිසා රජයට ලැබිය යුතු ආදායම අහිමි වී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.   


ආයතන 28 ක් මෙම දැවි තෙල් මිලදී ගැනීමට බලපත්‍ර ලබා ඇති අතර වාර්ෂිකව නැව් දැවි තෙල් මෙට්‍රික් ටොන් මිලියන 16 ක පමණ ප්‍රමාණයක් මෙම ආයතන මගින් මිලදී ගන්නා බවද අනාවරණය වූයේ යැයි ඇමැතිවරයා කීය.