පස්වැනි කොරෝනා රැල්ල නවතන්න ආයතන ප්‍රධානීන්ට වගකීම පවරන්න


(දයාසීලි ලියනගේ)   

පස්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීමට නම් ආයතන ප්‍රධානීන්ට නීත්‍යානුකූලවම වගකීම පවරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට ලිඛිතව දන්වා යවා ඇත.   

මේ වනවිට සෑම අමාත්‍යාංශයක් සඳහාම කොරෝනා මර්දන උපදෙස් මාලාවක් නිකුත් කර ඇති නමුත් ඒවා බොහෝ විට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවද වෛද්‍ය සොයිසා මහතා කීය.

   
මරණ සංඛ්‍යාව හා රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් පවතින බව සඳහන් කළත් යළි කොරෝනා රැල්ලක් ඇතිවිය නොහැකි බවට කිසිවකුට තර්ක කළ නොහැකි බවද ඔහු කීය.   


යළි රට විවෘත කර නව සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් එන්නත් ලබාදීම, සෞඛ්‍ය ආරක්ෂිත නියමයන් පිළිපැදීම, ආයතන ප්‍රධානීන්ට කොරෝනා මැඩ පැවැත්වීමේ බලය නීත්‍යානුකූලව පැවරීම කළ යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.