පසුගිය මාස දහයේදී කෝටි දහනව දහසක කනකර උකස් කරලා


පේරාදෙණිය සරසවියේ අධ්‍යයනයකින් හෙළි වේ

සුජිත් හේවාජුලිගේ

දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දහතුනක් සහ ප්‍රධාන උකස් සමාගම් දහයක් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයක දී ය.  


මේ වසරේදී උකස් කරන ලද මේ කනකර ආභරණ ප්‍රමාණය ඊට කලින් වසරේදී උකස් කරන ලද කනකර ආභරණවල ප්‍රමාණයට සාපේක්ෂව ලොකු වැඩිවීමක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා කීවේය.  
සිය කනකර ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනකු මධ්‍යම පාන්තික පවුල්වල අය බව පැවසූ අතුකෝරළ මහතා කනකර ආභරණ වැඩි ප්‍රමාණයක් උකස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවද ප්‍රකාශ කළේය.  


මෙයට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිවීම, ආදායම් අහිමිවීම සහ පාරිභෝගික අවශ්‍යතා යනාදී කාරණා පදනම් කරගෙනද කනකර ආභරණ විශාල වශයෙන් උකස් කර ඇතැයි එම අධ්‍යයනයේදී තොරතුරු අනාවරණය වී ඇත.  


මහාචාර්යවරයා පවසන අන්දමට මේ වසරේ පමණක් රත්රන් මිල සියයට අසූවකින් පමණ වැඩිවී ඇත. අද වන විට වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහස් එකසිය පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ රුපියල් හැටදහස හැත්තෑ දහස අතර සීමාවේය.