පළාත් සභා ඡන්දයකට තවමත් ආණ්ඩුවේ සූදානමක් නෑ


(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුව ද, රජය පාර්ශ්වයෙන් තවමත් ඒ සඳහා කිසිදු සූදානමක් නැතැයි වාර්තා වේ.   

 මැතිවරණය පවත්වන්නේ නම් එය පත්වන්නේ පැරණි ක්‍රමයටද නැතිනම් අලු‍ත් ඡන්ද ක්‍රමයටද යන්න මුලින්ම තීරණය කළ යුතු වන අතර ඒ සඳහා නව පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුවේ.   
 පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සම්මත කළ යුතු බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට ද පසුගිය සතියේ දැනුම් දුන්නේය. 

 
 මැතිවරණය පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයකට ද යන්න තවමත් තීරණය කර නැති බවය.   


 ඒ සඳහා වන කටයුතු තවමත් ආරම්භ කර නැතැයිද ඔහු සඳහන් කළේය.