ආදායම් කන්තෝරුවේ වැඩ ගැන
කෝපා කමිටුවෙන් විමර්ශනයක්
(සුජිත් හේවාජුලිගේ)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්රැස් කරගත් මුද්දර බදු ආදායමෙන් පළාත් සභාවලට ප්‍රේෂණය කළ යුතු රුපියල් කෝටි 230කට ආසන්න මුදලක් එලෙස ප්‍රේෂණය නොකර රඳවා තබා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එසේම 2020 දෙසැම්බර් 31 වැනිදාට ගෙවිය යුතු රුපියල් කෝටි දෙසිය විස්සකට ආසන්න මුදලක් නොගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වන බව එම කමිටුව පවසයි.
මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මහ භාණ්ඩාගාරයෙන් එම මුදල් ලැබුණු පසු ඒවා ප්‍රේෂණය කළ හැකි බවයි.
මේ අතර මත්පැන් විකිණීම සහ බෝතල් රා විකිණීම සඳහා වූ බලපත්‍ර පහකට අදාළව 2008 සිට 2018 දක්වා වූ වසර දහයේදී රුපියල් කෝටි ගණනක් වටිනා මුද්දර ගාස්තු අය කර නොගෙන පැහැර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කෝපා කමිටුවේ විශේෂ අවධානය යොමුවී ඇත.
එම බලපත්‍රවලින් රුපියල් දස දහස සහ විසි දහස බැගින් මෙලෙස මුදල් අයකර ගැනීම පැහැර හැර ඇතැයි කියති.
මෙම හිඟ ගාස්තු අයකර ගැනීමට පියවර ගෙන මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.