ප්‍රභූවරුන් දෙදහසක් කොළඹ සුපිරි මහල් නිවාස අරන්


(සුජිත් හේවාජුලිගේ)   

දෙදහසකට ආසන්න පිරිසක් කොළඹ නගරයේ සුපිරි මහල් නිවාස සංකීර්ණවලින් (Apartment) නිවාස දෙක තුන බැගින් පසුගිය වසර දෙකේ දී මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ගවලින් පැවසේ.   

රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර මෙසේ නිවාස ලබා ගෙන ඇති පිරිසට මැති ඇමැතිවරු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ, වෛද්‍යවරු, නීතිඥවරු, සංස්ථා සභාපතිවරු, උපකාර පන්ති ගුරුවරු සහ විදේශයන්හි රැකියා කරන පිරිස් ද ඇතුළත් වෙති. සමහරුන් සුපිරි මහල් නිවාස සංකීර්ණවලින් මෙලෙස නිවාස මිලදී ගෙන ඇතත් ඒවායේ පදිංචියට මෙතෙක් ගොස් නැතැයි දැන ගන්නට ඇත.   


සමහරුන් මේ ආකාරයට නිවාස ලබාගෙන විවිධ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදාගෙන සිටින බව එම මහල් නිවාස සංකීර්ණවල පරිපාලන නිලධාරිහු පවසති.   
තවත් ඇතැමුන් සිය දරුවන් විවාපත්වීමෙන් පසු දෑවැද්දට ලබාදීම සඳහා මෙවැනි නිවාස කල්තියා මිල දී ගෙන සිටින බව වාර්තා වේ.   


මේ අතර කොළඹ නගරයේ දැනට ඉදි කෙරෙමින් පවතින මහල් නිවාස සංකීර්ණවල නිවාසවලින් සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක් දැනටමත් විකිණී අවසන්ව ඇතැයි ද දැන ගන්නට ඇත.   


කොළඹ නගරයේ මේ දිනවල ඉදිකෙරෙමින් පවතින මහල් නිවාස සංකීර්ණ සංඛ්‍යාව දහයකට ආසන්නය.   
සාමාන්‍යයෙන් කොළඹ නගරයේ සුපිරි මහල් නිවාසවල එක් නිවසක් කෝටි දෙකේ සිට හතර දක්වා මිල ගණන්වලට අලෙවි කෙරෙන බව ඒවායේ හිමිකරුවෝ පවසති.