ප්‍රියමාලිට දුන් කෝටි ගණන් ආපහු ගන්න ලේසි නෑ


තැන්පත් කළ මුදල් බහුතරයක් ප්‍රියමාලි ළඟ නෑ

  • මුදල් අහිමි වූ අය තනි තනිව නඩු ගොනු කළ යුතුයි

නිමන්ති රණසිංහ   

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 

මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විට එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ය.

   
තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති අතර මේ වසරේ මුල සිට ජූනි මාසය දක්වා වූ කාලය තුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබූ බවත් මේ වන විට එම ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.   


තිළිණි ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයින් පිරිසක් ද රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.   


සැකකාරියගේ ජංගම දුරකතනයේ කළ පරීක්ෂාවේදී එහි අන්තර්ගත වී තිබූ හඬ පටවලින් මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.   


දේශපාලනඥයින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, හිමිවරුන්, නළු නිළියන් මෙන්ම මෙරට ප්‍රසිද්ධ චරිත මෙම සැකකාරියගේ තිකෝ සමූහ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතත් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ඇති පැමිණිලි ගණන 12කි.   


මෙම සැකකාරියගේ වංචාවට හසු වූවන්ට අදාළ මුදල් නැවත අයකර ගැනීම සඳහා දිසා අධිකරණයක නඩු පැවරිය යුතුව ඇති අතර ඒ සඳහා පැමිණිලිකරුවන් ලෙස ඔවුන් ඉදිරිපත් නොවීමම ගැටලුසහගත බවත් අදාළ මුදල් ඔවුන්ට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති වීම තුළ තවත් ගැටලු‍වක් මතු වී ඇති බවත් විමර්ශකයින් පවසති.