පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් 65 තෙක් ඉන්න වෑයමක


උපුල් වික්‍රමසිංහ

ඉකුත්දා ඉදිරිපත් කළ අතුරු අයවැය ​ලේඛනය මගින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා පහත හෙළනු ලැබුවද ඊට පටහැණිව යමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව දැනගන්නට ලැබේ.  

අදාළ නිලධාරීන් විසින් ඒ බව සඳහන් කරමින් සකස් කරන ලද ලිපියක් ජනාධිපතිවරයාට යොමු කිරීම සඳහා ඔහුගේ සමීපතමයකුට භාර දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.  


විශ්‍රාම යෑමට ආසන්නව සිටින නිලධාරීන් පිරිසකගේ මේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල තවත් සේවකයන් පිරිසක් ඒ ගැන පැමිණිලි කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දීම සඳහා ලිපියක් ද සකස් කර ඇති අතර ඔවුන් එමගින් චෝදනා කර සිටින්නේ විවිධ වරප්‍රසාද ලබමින් දිගු කාලීනව සේවය කිරීමට කැමති සේවකයන් පිරිසකගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් දීර්ඝ කාලීනව උසස්වීම් ලබා ගැනීමට නොහැකිව සිටින සහ නවක සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදු වන බවය.  
අදාළ ලිපියෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පමණක් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 (60 සිට) දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවට මීට ඉහතදී ද යෝජනාවක් ඉදිරිපත් වුවද එය ප්‍රතික්ෂේප වූ බවය.