පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සොයන්න සීඅයිඩිය මැතිසබයේ


කතානායට ළඟදීම වාර්තාවක්   

(සුජිත් හේවාජුලිගේ)   

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම පැයකට ආසන්න කාලයක් අක්‍රිය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් ඇතුළු සේවකයන් දස දෙනෙකුගෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.   

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයීම මෙසේ පැයකට ආසන්න කාලයක් අක්‍රිය වූයේ මුළු රටේම විදුලිය පසුගිය 3 වැනිදා විසන්ධි වූ අවස්ථාවේදීය.   


 විදුලිය විසන්ධි වන අවස්ථාවලදී ක්‍රියාත්මක කෙරෙන විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොසැපයීම නිසා එම යන්ත්‍රය හදිසියේම අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය මෙසේ අක්‍රියවී ගොස් ඇති බව දැනට කරන ලද මූලික විමර්ශනවලදී​ තොරතුරු හෙළි වී ඇත.   


 මෙය කඩාකප්පල් ක්‍රියාවක් දැයි දිගින් දිගටම සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.   


 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති නිලධාරීන් සහ සේවකයන් අතර පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේද විදුලිබල මණ්ඩල අංශයේ සහ ජල සම්පත් මණ්ඩල අංශයේ ද අය වෙති.   


 මේ පරීක්ෂණය අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට මේ පිළිබඳව විශේෂ වාර්තාවක් බාරදීමට නියමිතය. එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.   


 අයවැය විවාද පැවැත්වෙන අවස්ථාවක පාර්ලි​මේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම මෙලෙස අක්‍රිය වීම බරපතළ තත්ත්වයක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.   


 මැතිසබයේදී පසුගියදා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලයෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ පාලනයට වහාම ගැනීම වැදගත් අවශ්‍යතාවක් බවයි.