දයාසීලි ලියනගේ
තෙල් අලෙවිය වෙනුවෙන් තෙල් පිරවුම්හල්වලට ලබා දෙන කොමිස් මුදල වැඩි කිරීමට ගත් තීරණය නිසා, දිනකට රුපියල් කෝටි 7ක අතිරේක මුදලක් වැය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවී ඇත.
මෙතෙක් කාලයක් මෙම කොමිස් මුදල වශයෙන් ලීටරයකට සියයට 2.5ක මුදලක් ගෙවූ අතර එය ගෙවනු ලැබුවේ තෙල් ලීටරයක මිල රුපියල් 167ක් වශයෙන් පදනම් කර ගෙනය.
තෙල් මිල කෙතරම් ඉහළ ගියත් රුපියල් 167 වශයෙන් සලකා ලීටයරයකට ගෙවන කොමිස් මුදල සියයට 2.5ක් වී තිබුණි. මෑතක සිට මෙම ගෙවනු ලබන කොමිස් මුදල ලීටරයකට රුපියල් 13ක් කිරීම නිසා අතිරේකව දිනකට රුපියල් කෝටි 7 ක මුදලක් වැය කිරීමට සංස්ථාවට සිදුවී ඇතැයි විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. වර්ෂයකට පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ලෙස රුපියල් කෝටි 2500කට වැඩි අතිරේක මුදලක් වැය කිරීමට සංස්ථාවට සිදුවී ඇත.
තෙල් පිරවුම්හල් බහුතරයක හිමිකරුවන් වන්නේ සංස්ථාවේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඥාතීන්ය.