පුංචි ඡන්දයේ පෙත්සම් විභාගය 18 වැනිදා


පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු‍ම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට සිකුරාදා දැනුම් දුන්නේය. 


පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද   හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සිකුරාදා කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ 
සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත.  

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.   
එහිදී සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස නියම කළේය.