බස් දුවන්න සහනයක් දෙන්න ගැමුණු ඉල්ලයි


(මහින්ද නිශ්ශංක)   

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ධාවනය කරන්නේ නම් සියයට 50ක ඉන්ධන සහනාධාරයක් බස් හිමියන්ට රජය මගින් ලබාදිය යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.   


ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කඩා වැටී ඇති පෞද්ගලික බස් කර්මාන්තය තරමක් දුරට හෝ ලබන වසරේ සිට ගොඩගැනීමට බස් හිමියන්ට හැකියාවක් පවතින බව ද ඔහු කීය.   

ආසන ධාරිතාවයෙන් සියයට 50ක් මගීන් ප්‍රවාහනය කිරීමේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව ද පැවසූ ඔහු එම ආරක්ෂිත වැඩපිළිවෙළ ලබන දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමෙන් ලබන වසරේ සිට බස් කර්මාන්තය පෙර තත්ත්වයට පත් කර ගත හැකි බව සංගමයේ බලාපොරොත්තුව බව ද පැවසීය.   


●රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජුනි 7 වැනිදා සිට ඉවත් කරනු ලැබුවහොත් පොදු ප්‍රවාහන සේවා නැවත ක්‍රියාත්මක කළ යුත්තේ විධිමත් සැලස්මක් අනුව බව පැවසූ ගැමුණු මහතා මේ පිළිබඳව තම සංගමය ඉදිරියේ දී ලංගම සභාපති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද කීය. 

 
දුර සේවා බස් රථ ද ක්‍රියාත්මක විය යුතු අතර ගමන් ආරම්භ කිරීමෙන් පසු අතරමැදින් මගීන් ගොඩකර ගැනීමට නොහැකි බව පැවසූ ඔහු මගියකුට අවශ්‍ය නම් අතරමැදින් බැසීමේ පහසුතාව තිබෙන බවත් ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා මගියා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු බව ද කීය.