මන්ත්‍රී රක්ෂණය ඉහළ දාන යෝජනාවක්


මන්ත්‍රී රියැදුරන්ගේ වැටුප වැඩි කිරීමටත් අනුමැතිය

 

සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත. සෑම මන්ත්‍රීවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රීවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක් ලක්ෂ තිස් දහසක ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන්වේ.   
කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම ර​ටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් තවත් මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.   


එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියැදුරන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී ඇත.   


යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යොමු කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.   
මන්ත්‍රීවරයකුගේ රියැදුරකුට දැනට ලැබෙන්නේ රුපියල් 35,000 පමණ මූලික වැටුපකි. මෙම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වැටුප තවත් රපියල් දහදාහකින් පමණ වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.