මන්ත්‍රීවරුන් බාන්න ආණ්ඩුවේ මෙහෙයුමක්


ස්වාධීන වූ මන්ත්‍රීන්ට දිගටම ඇමතුම්

නිමල් සිරිපාල, අනුරයාපා බෑ කියයි

(අජන්ත කුමාර අගලකඩ)   

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ වී ඇති අතර, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද ඊට සම්බන්ධ වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මධ්‍යම පළාත නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකුද, වයඹ පළාත සහ බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇති පිරිස අතර වන බව දැනගන්නට තිබේ.   


එම මැති ඇමැතිවරුන්, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින්, ආණ්ඩුවට එක්වන ලෙස ඉල්ලා ඇති අතර, ඔවුන්ට අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධුර ආදිය ලබාදෙන බවටද පොරොන්දු වී ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසේ.   


එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉකුත් සතියේ ආණ්ඩුවට සම්බන්ධ වී, රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත් අතර, තවත් කිහිප දෙනකුටද ආණ්ඩුවට එක්වන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට ඇත.   


නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර, අසංක නවරත්න, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කතා කර ඇතැයි දැනගන්නට ඇත.   


නිමල් සිරිපාල ද සිල්වා මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද, උද්දික ප්‍රේමරත්න මහතාට සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ධුරය ද දීමට ආණ්ඩුවෙන් යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.   


එසේ වුවද, ඔවුන් සියලු‍දෙනා ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.