මන්ත්‍රීවරුන්ට වන්දි දෙනවාට නිලධාරි පිරිසකගෙන් ‘බකට්’ අරගලයට සම්බන්ධ පිරිසක්ලු


සුජිත් හේවාජුලිගේ

ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා අරගලයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරීන් එම නිවාසවලට අදාළ තොරතුරු ලබා දීම හිතාමතාම ප්‍රමාද කිරීම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 

මෙසේ තොරතුරු ලබා දීම හිතාමතාම මග හරින අය අතර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, තක්සේරු නිලධාරීන් ඇතුළු නිලධාරීහු ද සිටිති. 


මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇත. 
මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ට ලොකු පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් ඒ සඳහා දැනටමත් විවිධ පෝරම ගණනාවක්ම පුරවා අවසන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ. 


මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සුරේන් බටගොඩ මහතාය. 


මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ. 


අරගලය අතරින් පැමිණි ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස නව වෙනිදා කළ පහර දීම් සහ ගිනි තැබීම් වලින් මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ නිවාස ඇතුළු දේපළ විනාශයට පත්විය.