මව දරුවාත් සමඟ ඇඹිලිපිටිය චන්ිකා වැවට පැනලා


අජිත්ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර

මවක් සිය පුතු සමඟ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැනීමෙන් එම දරුවා සහ මව ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

එහිදී අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවා එතැනදීම ජීවිතක්ෂයට පත්වූ බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කළේය.  


මෙම කාන්තාව තමන්ගේ අවුරුදු දහයක් වයසැති දරුවා සහ මියගිය පිරිමි ළමයා ද සමග චන්ද්‍රිකා වැවේ දිය නාන බෝධිය ආසන්නයට පැමිණ තිබේ. එහිදී තුන්දෙනා සමග වැවට පනිමු යැයි තමන්ට ප්‍රකාශ කළ බව වැඩිමහල් දරුවා කළ ප්‍රකාශයක සඳහන් වේ. ඒ අවස්ථාවේ එම පිරිමි ළමයා මවගෙන් මිදී දුවගෙන ගොස් අසල සිටි තරුණයන් දෙදෙනෙකුට ඒ බව පවසා ඇත.  


ඔවුන් ජීවිතාරක්ෂක පොලිස් කණ්ඩායමට ඒ බව සඳහන් කර සොයා බලද්දී බාල දරුවා සමග කාන්තාව වැවට පැන්න බව දැක දියේ ගිලෙමින් සිටි කාන්තාව ගොඩගෙන ප්‍රථමාධාර දී රෝහල් ගතකර ඇත. කුඩා දරුවා සොයාගන්නා විටත් මියගොස් සිටි බව ද ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේය. මව රෝහලේදී මිය ගියාය.
කාන්තාව සන්තකයේ රුපියල් දෙදහසක මුදලක් සහ සිම්පතක් ද තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.