මහින්දගේ මැයි රැළියට එරෙහිව මෛත්‍රී ගත් තීන්දුව


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය ඉරිදා රාත්‍රියේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දින රැළිය ගැන සාකච්ඡා කිරීමය. සාකච්ඡාව ආරම්භ වූයේ රාත්‍රි 9.00ට පමණය. මහනුවර සූදානම ගැන මුලින්ම පැහැදිලි කළේ එස්. බී. දිසානායක ඇමැතිවරයාය. මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක එනවිට විනාඩි 10ක් පමණ ප්‍රමාදවී තිබිණි. 


ඔහු පැමිණ නුවර රැළියට එන පෙළපාළි රථවාහන සැලැස්ම ආදිය ගැන විස්තරයක් ඉදිරිපත් කළේය. ගැටඹේ ක්‍රීඩාංගණයට එක් පෙළපාළියකින් යන්නට මුලින් සැලසුම්කර තිබිණි. එහෙත් පසුව එය පෙළපාළි තුනකින් යන්නට තීරණය වී තිබිණි. ගැටඹේට සෙනඟ ගෙන ඒම සඳහා ලංගම බස් රථ 1600ක් හා පෞද්ගලික බස් රථ 700ක් වෙන්කර ඇති බව දුමින්ද දිසානායකත් මහින්ද අමරවීරත් කීවෝය. ජනාධිපතිවරයා කීවේ මදි ප්‍රමාණයට පෞද්ගලික බස් රථ ගන්න කියාය. එස්. බී. කීවේ පෙළපාළියට යතුරු පැදි 400ක් එකතු කර ඇති බවය. තරුණ සංවිධානය වෙනම යතුරුපැදි කණ්ඩායමක් ගෙන එන බව ශාන්ත බණ්ඩාර කීවේය. බස් මදිනම් අවශ්‍ය බස් රථ දෙන්නම් කියා මහිපාල හේරත් කීවේය. ලක්ෂ්මන් යාපා කීවේ මාතරින් 6000ක පමණ සෙනඟක් ගැටඹෙට ගෙන්වීමට සූදානම් කර ඇති බවය. තමාගේ හක්මණ ආසනයෙන් පමණක් 2300ක් පමණ රැගෙන එන බව ලක්ෂ්මන් යාපා කීවේය. ඔහු කීවේ එම පිරිස අප්‍රේල් 30 වනදාම නුවර ගොස් නතරවීමට අවශ්‍ය පහසුකම්ද සියල්ල සලසා ඇති බවය. 


මේ අතර ගැටඹේ මැයි දිනයට සහභාගිවන ලෙස සියලුම පාර්ලිමේන්තු පළාත් සභා මැති ඇමැතිවරුන්ට සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ලිඛිතව දන්වා යවන ලෙස ජනාධිපතිවරයා දුමින්ද දිසානායකට කීවේය. ගැටඹේ මැයි දින රැළියට නොඑන අය සම්බන්ධයෙන් මැයි රැළියෙන් පසුව පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදි සාකච්ඡා කර තීන්දුවක් ගැනීමටද තීරණය විය.
ආසන සංවිධායකවරුන් නැති සහ වැඩ නොකරන ආසන සංවිධායකයින් ගැනද සාකච්ඡා විය.