මාදිවෙල නිවස්නේ හොරට සිටි මන්ත්‍රීවරුන් අටකට නඩු


(සුජිත් හේවාජුලිගේ)   


පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.


පැරදුණු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා රැඳී සිටීම නිසා අය කෙරුණු දඩ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.   


අනවසරයෙන් රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500කි. මේ අනුව මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන දඩ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්නය.   


එම පැරදුණු මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් පසුකාලීනව ඉවත්ව ගොස් ඇතත් ඒවායේ අනවසරෙන් රැඳී සිටි කාලයට අයකෙරෙන දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත් දඩ මුදල වහා ගෙවන්නැයි සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් ඔවුන් එම ගෙවීම් මේ දක්වාම කර නැති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.   


දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද වෙති.   
මැතිවරණවලින් පරාජය වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල නීත්‍යානුකූලව රැඳීසිටීමට අවසර ලැබෙන්නේ මැතිවරණය පැවැත්වෙන දින සිට මාසයකට පමණ කාලයක් පමණි.