මාර්ග කොන්ත්‍රාත්කරුවන්ට ආණ්ඩුව කෝටි 8900ක් ණයයි


අජන්ත කුමාර අගලකඩ   

මාර්ග සංවර්ධන ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන්ට හිඟ බිල් වශයෙන් රුපියල් කෝටි 8,900 ක මුදලක් ගෙවීමට ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

ඉන් රුපියල් කෝටි 500ක් පමණ ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් වෙන් කරගෙන ඇති බවත් ඇමැති ආචාර්ය ගුණවර්ධන මහතා එම මුදල කොන්ත්‍රාත්කරුවන්ට කොටස් වශයෙන් බෙදා දීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.   


රට ඉතා බරපතළ අර්බුදයකට පත්ව ඇති මේ මොහොතේ, එම මුදල් ගෙවීමද බරපතළ තත්ත්වයක් බව සඳහන් කළ ඇමැතිවරයා රජයේ දෛනික ආදායම රුපියල් කෝටි 400ක් පමණ වන විට වියදම කෝටි දාහක් පමණ වන බවද සඳහන් කළේය.   


මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා දෛනිකව රුපියල් කෝටි 600 ක් පමණ ණය ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.