මැතිසබයේ ජලය - විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග


සියලු බල්බ එල්.ඊ.ඩී. කරයි: ජල පොකුණේ රටා මැවීමත් නවතයි

(සුජිත් හේවාජුලිගේ)  

පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩු කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.  


පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 8ක් පමණ වේ.

මේ නියෝග අනුව පාර්ලිමේන්තුවේ ජලය සහ විදුලිය පාවිච්චි කිරීම සීමා කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි එහි ඉංජිනේරු අංශය පවසයි. පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සහ අමුත්තන්ගේ ගැලරියේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන ඇත.  


පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ප්‍රධාන ජල පොකුණේ ජලය කඩා වැටෙන (ජල රැලි නැංවීම) ආකාරයට ක්‍රියාත්මක කෙරුණු යාන්ත්‍රණය විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස තාවකාලිකව අත්හිට වූ බවද ඉංජිනේරු අංශය සඳහන් කරයි.  


ප්‍රධාන ජල පොකුණේ මෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරුණේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආකර්ශනීයත්වයක් එක් කිරීම සඳහාය.  


ජල මෝටර් කීපයක් යොදා ගෙන එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා කිලෝ වොට් 75ක පමණ විදුලිය ප්‍රමාණයක් වැය වූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  


මේ අතර පාර්ලිමේන්තුවේ සියලුම සී.එෆ්.එල් විදුලි බල්බ ඉවත්කර විදුලිය අඩුවෙන් වැය වන එල්.ඊ.ඩී. බල්බ සවි කළ බව පවසන ඉංජිනේරුවරු විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවද ප්‍රකාශ කළහ.  


වායු සමීකරණය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද අඩු කර ඇති අතර විදුලි සෝපාන කිහිපයක්ද තාවකාලිකව නතර කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.  


මුළුතැන්ගෙයි ජලය පාවිච්චි කිරීමද සීමා කරනු ලැබ ඇත. විදුලිය පාවිච්චි කිරීම අඩු කිරීම සඳහා වෙනම උපකරණ පද්ධතියක් සවි කිරීමටද කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.