රජයේ ආයතන රැසක ලොක්කෝ ගෙදර යන්න සැරසෙති


සුජිත් හේවාජුලිගේ   
පවතින ආර්ථික සහ ඉන්ධන අර්බුදය හමුවේ ආයතන සාර්ථකව පවත්වාගෙන යෑම බරපතළ අභියෝගයක් වී ඇති හෙයින් රජයේ සංස්ථා මණ්ඩල රැසක ප්‍රධානීන් තනතුරු අත්හැරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 
 
ආයතන කිහිපයක ධානීන් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ ධානීන්ට දැනටමත් දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
 
ඉන්ධන සහ අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ආයතන රැසක් පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති හෙයින් ඒවායේ ප්‍රධානීන් දැඩි කනස්සල්ලට සහ අසරණ තත්ත්වයට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.   

විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්නය නිසා බොහෝ ආයතනවලට විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ද අති දුෂ්කර වී ඇතැයි පැවසේ.   

ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මහගමගේ මහතා ද එම ආයතනයට වෙනත් සුදුස්සකු සිටී නම් තනතුරෙන් ඉවත් වීමට සූදානම් බව ප්‍රධානීන්ට දැනටමත් දැනුම් දී ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.   

ඉන්ධන හිඟය හේතුවෙන් එම මණ්ඩලයේ බොහෝ කටයුතු අඩපණ වී ඇතැයි වාර්තා වේ.   
ගවයන් සඳහා තණකොළ කැපීම පවා ඉන්ධන හිඟය නිසා නැවතී ඇත.