රජයේ රෝහල් තදබදය අඩු කරන්න පෞද්ගලික රෝහල් ශල්‍යාගාර කුලියට ගනියි


අංජුල මහික වීරරත්න

රජයේ රෝහල්වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

මෙම කාරණයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම තමන්ට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.  


ජාතික රෝහලේ මෙන්ම කොළඹ අවට රෝහල් රැසක ශල්‍යාගාරවල ඉඩ පහසුකම් මදිකම නිසා රෝගීන්ට ශල්‍යකර්ම කරගැනීමට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව ඇති බවට ලැබුණු තොරතුරු මත සාගල රත්නායක මහතා මෙම පියවර ගෙන තිබේ.  


පෞද්ගලික රෝහල් කිහිපයක අධ්‍යක්ෂවරුන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ ගැන සාකච්ඡා කර තිබෙන අතර ඊට ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණ බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.  


පෞද්ගලික රෝහල් ශල්‍යාගාරවල ශල්‍යකර්ම නොකෙරෙන අවස්ථාවල රජයේ රෝහල්වලට යම් සාධාරණ කුලියකට ලබාදිය හැකි බව පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් සාගල රත්නායක මහතාට දැනුම් දී තිබේ.  


ඒ අනුව පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ලබාගන්නා ආකාරයත්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊට යොමුකරන ආකාරය ගැනත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට බාරදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට දැනුම් දී ඇත.