දයාසීලි ලියනගේ
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ජනාධිපති ධුර කාලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මේ දිනවල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග වෙන් වෙන්ව සාකච්ඡා කරණ බව වාර්තා වේ.
‘ඉරිදා ලංකාදීප’යට දැන ගන්නට ඇති පරිදි පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිරි ධුර කාලයට ජනාධිපති වශයෙන් පත්වෙනවාට කැමැත්ත පළ කර ඇත.
ලබන සතිය වන විට රටට නව ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් පත්වීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරෙන් ඉවත්වීමේ ලිපිය කතානායකවරයාට භාරදී දින 3ක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්කර ඒ බව දැනුම් දිය යුතු වන අතර එයින් දින 5ක් ඇතුළත තනතුරට පත්වීමේ නාමයෝජනා කැඳවීමටත් එතැන් සිට පැය 48ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීමක් පවත්වා නව ජනාධිපතිවරයා පත් කර ගැනීමටත් ව්‍යවස්ථාවෙන් නියම කර ඇත.