දයාසීලි ලියනගේ
රාජ්ය සේවකයන් උපයන වැටුපෙන් බදු අය කිරීමේදී බොහෝමයක් රාජ්ය ආයතන මගින් එම සේවක බදු ගෙවීම නිසා රජයට කෝටි ගණනක බදු මුදල් අහිමි වන තත්ත්වයක් උදා වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන ගණනාවක සේවක වැටුපෙන් අයකරගත යුතු බදු මුදල් ගෙවීම සිදුකරන්නේ එම ආයතන විසින් වන අතර මේ නිසා රජයට බරපතළ පාඩු විඳීමට සිදුවී ඇති බව විගණන අංශ පෙන්වා දී ඇත.
මෙම රාජ්ය ආයතනවල සේවකයන් කාලයක් තිස්සේ සිටම සිය පෞද්ගලික වැටුපෙන් රජයට බදු මුදල් නොගෙවීම බරපතළ වැරැද්දක් ලෙස විගණන අංශ පෙන්වා දී තිබුණි.
මෙවර උපයන විට ගෙවීමේ බදු මුදල් වැඩිකරනු ලැබුවත් එකී ආයතන සේවකයන්ගේ එම බදු මුදල් ගෙවීම යළි එම ආයතන මගින් සිදුකිරීම නිසා රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව ද ඔවුන් පෙන්වා දී ඇත.
ආයතනය මගින් සේවක බදු ගෙවීම නොකළ යුත්තක් බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් කෝප් කමිටුවට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර ඇත. මීට අමතරව එම ආයතන සේවක බදු ගෙවීමෙන් එම ආයතනවලින් දෙවතාවක් බදු අයකරන බව ද වාර්තා වේ.