එක් ප්‍රධානියකුගේ මාසික වැටුප හා දීමනාව ලක්ෂ 22යි
(දයාසීලි ලියනගේ)
රාජ්‍ය සේවයේ සභාපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තා වේ.
මෙලෙස වැටුප් හා දීමනා ලබන ප්‍රධානීන් සිටින බොහොමයක් ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යන ඒවා බව ද සඳහන් වේ.
ඇතැම් ආයතන ප්‍රධානීන් නීත්‍යානුකූල නොවන ආකාරයට අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබා ගෙන සිය දීමනා වැඩිකර ගෙන ඇති බව ද වාර්තා වේ.
ඇමති කමිටුවක් මගින් මෑතක දී කරන ලද විමර්ශනයක දී ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 22ක් මාසිකව ලබන බව අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.
මෙතරම් විශාල ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබමින් පාඩු පිට පවත්වාගෙන යන ආයතන පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.