(දයාසීලි ලියනගේ)
රාජ්‍ය සේවයේ අතිකාල හා දීමනා කපා හරින්නේ නම් ඊට පෙර ජීවන වියදම අඩු කිරීමට පියවර ගතයුතු අතර එසේ නොවන්නේ නම්, තදබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිසීමට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් තීරණය කර ඇත.
භාණ්ඩ මිල සමස්ත ජනතාවට බලපාන එකක් නිසා රජයේ සේවයේ දීමනා හා අතිකාල කපා හැරීමට පෙර භාණ්ඩ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවිය යුතු බව රාජ්‍ය කළමනාකාර සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පලිහවඩන මහතා කීය.
රජයට ආදායම් ලබා දෙන ආයතනවල දිරි දීමනා දැනටමත් කපා හැර ඇත. ඒ අනුව මාස 6කට වරක් ලබාදෙන මාස 4 1/2 ක වැටුප ලබාදීම අත්හිටුවා මාස 2ක වැටුප දීමට තීරණය කර ඇති බව පලිහවඩන මහතා කීය.
මේ වන විට ජීවන වියදම දැඩි ලෙසින් ඉහළ නැග තිබෙන නිසා රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදුවට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ යුතු අතර එසේ නොමැතිව අදාළ දීමනා කපා හැරියොත් තදබල වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඒ මහතා කීය. මේ අතර සෞඛ්‍ය සේවයේ වැටුපෙන් කපා හරින ලද අතිකාල හා දීමනා ලබන මස වැටුපට එක් කිරීම සඳහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.