ලංසාගේ අමාත්‍යාංශයට සල්ලි නෑ


තියෙන සල්ලි හිඟ බිල් ගෙවන්න ?

(අජන්ත කුමාර අගලකඩ)   

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990 ක පමණ මුදලක් වුවද ඉකුත් වසරේ වැඩ අවසන් කළ ව්‍යාපෘති සඳහා හිඟ බිල් ගෙවීමට පමණක් රුපියල් කෝටි 1200ක පමණ මුදලක් අවශ්‍යව ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් එම අමාත්‍යාංශය දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   
ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලන්සා මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අතර ඉකුත් දා ඇති වූ මත ගැටුමට ද මූලික වී ඇත්තේ මෙම අර්බුදය බව දැනගන්නට ඇත.   


මේ වසරේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් නිදහස් කරන ලෙස රාජ්‍ය ඇමැතිවරයා ලේකම්වරයාට උපදෙස් දී ඇතත්. මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.   


ඉකුත් වසරේ හිඟ බිල් වෙනුවෙන් ගෙවීමට ඇති මුදල ගෙවීමට ද මේ වසරේ මුදල් යොදා ගන්නා ලෙස මහා භාණ්ඩාගාරය උපදෙස් දී ඇති බැවින්, එම මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා ඇමැතිවරයාට පෙන්වා දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.