වර්ෂා සමරසිංහ සහ සජිනි ගුරුගේ
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, වගා ව්‍යාපෘති මුවාවෙන් ඇතැම් ආයතන දැනට සිදුකරගෙන යන්නේ නීති විරෝධී මුදල් තැන්පතු රැස්කිරීමක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේය.
මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතය දැනුම්දීම සඳහා වන මහ බැංකුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ බව සඳහන් කළ ඔහු, මහ බැංකුව විසින් කිසිදු නීත්‍යනුකූල කෘෂිකාර්මික හෝ වගා ව්‍යාපෘතියක් තහනම් කර නොමැති බවද, තහනම් කර ඇත්තේ නීති විරෝධී ලෙස මුදල් තැන්පත් ලබාගැනීම පමණක් බවද ප්‍රකාශ කර සිටියේය.
වගාවන්ගෙන් සැබවින්ම ලාභ ලබන්නේ නම් තැන්පතු තහනම් කිරීම වගා කටයුතුවලට බාධාවක් නොවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ආයතන සුපිරි වෙළඳසැල්, පුවත්පත්, සංචාරක ව්‍යාපාර මෙන්ම විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා තැන්පත්කරුවන්ගේ මුදල් යොදවන බව පෙන්වා දුන් ඔහු, මෙවැනි ආයතනවලින් ලැබෙන ත්‍යාග හෝ අනුග්‍රාහකත්වයන් ප්‍රතික්ෂේප කරන ලෙස කලාකරුවන්ගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා සඳහන් කළේ, මීට පෙර පැවැති ගෝල්ඩන් කී සහ සක්විති වැනි ආයතන මෙන්ම මෙම ආයතනද ජනතාවගෙන් තැන්පතු ලබාගන්නා බවයි. පෙර ආයතන හා සසඳන විට මෙහි ඇති එකම වෙනස වන්නේ වගා ව්‍යාපෘති සිදුකරන බව පවසමින් ජනතාව නොමඟ යැවීම බව හෙතෙම පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ, දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොකර සියයට 8.75 මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන බවයි. මැදපෙරදිග පවතින දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා 2026 අගෝස්තු මාසයේදී ප්‍රධාන උද්ධමනය සියයට 8.0 දක්වා ඉහළ ගියද, 2027 පළමු කාර්තුවෙන් පසුව එය නැවතත් සියයට 5 මට්ටමේ ඉලක්කය වෙත ළඟා වනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ එල්නිනෝ වැනි කාලගුණික අවිනිශ්චිතතාවන් හමුවේ වුවද, මහ බැංකුව සහ රජය ගනු ලැබූ කාලෝචිත ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් උද්ධමනය තවදුරටත් ඉහළ යාම පාලනය කරගැනීමට හැකිවූ බවද මෙම වසරේ මුල් මාස තුනේදී ඩොලරය 70ට වඩා අඩුවෙන් පැවැතුණද, මැදපෙරදිග පවතින තත්ත්වයත් සමග අප්‍රේල් සහ මැයි මාස වන විට එය විශාල ලෙස ඉහළ ගිය බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
වසර අවසානයේ උද්ධමනය අඩුවනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කළද, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවත වරක් තෙල් මිල ඉහළ යාම හමුවේ උද්ධමනය කලින් බලාපොරොත්තු වූ ලෙස පහළ නොබැස සියයට 8 මට්ටමේ පැවැතීමට ප්‍රධාන හේතුව වූ බව ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1කින් වැඩි කිරීමට ගත් තීරණයේ යහපත් ප්‍රතිඵල මේ වන විට පෙන්නුම් කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ ගොස් ඇති අතර, බැංකු පද්ධතියේ ණය මුදාහැරීමේ වේගයද ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන බවත් එමෙන්ම විනිමය වෙළෙඳපොළ අනුපාතය ස්ථාවර කරගනිමින් රටේ සංචිත ගොඩනැගීමටද මෙමගින් හැකියාව ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව රජය විසින් ගනු ලැබූ තීරණ වන මෝටර් රථ සඳහා අධිභාර පැනවීම, ඉන්ධන සහනාධාර ලබාදීම සහ බදු සංශෝධන සිදුකිරීම වැනි පියවර හේතුවෙන් උද්ධමනය සියයට 8 මට්ටම හෝ ඊට වඩා වැඩිවීම වළක්වා ගැනීමට හැකිවූ බවද අධිපතිවරයා සඳහන් කළේය.

