වඳුරු උණ රෝගියා අයි.ඩී.එච්. රෝහලට


ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා මේ වන විට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.  


රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවැනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්​ෙ‌ය්ෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ​ කළේය.

එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත. එහිදී වෛද්‍යවරුන්ට ඇති වූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්‌යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.  


එදින දහවල් වෛද්‍ය පර්ෙ‌ය‌‌්ෂ‌ණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්ෙ‌ය‌‌්ෂ‌ණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.  
ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර වෛද්‍ය පර්ෙ‌ය‌‌්ෂ‌ණායතනයේ වෛරසවේදී අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය පැවසුවේ වඳුරු උණ දරුණු මාරාන්තික රෝගයක් නොවන නමුත් ආසාදිත පුද්ගලයෙකුගේ තරල මගින් හා ශ්වසන මාර්ගයේ බිඳිති මගින් එය තවත් පුද්ගලයෙකුට පහසුවෙන් පැතිරයා හැකි බවය.   
මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් මුඛ ආවරණ පැළදීම සහ දෑත් පිරිසිඳු කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව ද ඇය පැවසුවාය.   


වඳුරු උණ රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයෑම වළක්වා ගැනීම සඳහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.