වසරකදී මුවෝ ගෝන්නු 10,000ක් කෑම මේසෙට


වනජීවි රාජ්‍ය ඇමැතිගෙන් නිලධාරීන්ට චෝදනා

(සුජිත් හේවාජුලිගේ)  

යාල, විල්පත්තු අභයභූමි ඇතුළු මෙරට වනාන්තරවල මුවන්, ගෝනුන් 5000ත් 10,000ත් අතර සංඛ්‍යාවක් වසරකදී මස් පිණිස ඝාතනය කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

මුවන් ගෝනුන් මෙලෙස වැඩි වශයෙන් ඝාතනය කරනු ලබන්නේ ඒ ඒ ප්‍රදේශවලට වන්දනාවේ යන නඩවල සාමාජිකයන් විසිනැයි ද හෙතෙම සඳහන් කළේය.  


විවිධ උගුල් ඇටවීමෙන් මුවන් හා ගෝනුන් වැඩි වශයෙන් ඝාතනය කෙරෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වෙඩි තැබීම්වලින්ද තවත් කොටසක් ඝාතනය කෙරෙන බව ප්‍රකාශ කළේය.  


සමහරුන් මුවන් හා ගෝනුන් මරා ඒ ස්ථානවලම පිස අනුභව කර ඇති බවත් එවැනි ස්ථාන කිහිපයක් යාල අභය භූමිය අවටින් පසුගිය දිනවල සොයාගනු ලැබූ බවත් විමලවීර දිසානායක මහතා කීවේය.  


මුවන් හා ගෝනුන් ඝාතනය කිරීම සඳහා ඇතැම් වනජීවි සහ ආරක්ෂක අංශ නිලධාරීන් ද උදව් කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ද සඳහන් කළේය.  


ඈත දුර බැහැර ප්‍රදේශවල දඩමස් ජාවාරම වැඩිවී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. අලි - මිනිස් ගැටුම ගැන ඉහළ අවධානයක් යොමු කරන පරිසරවේදීන් ඇතුළු සංවිධාන මුවන් ගෝනුන් වැනි අහිංසක සතුන් මෙලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඬ නොනැගීම මෙන්ම සැලකිය යුතු අවධානයක් යොමු නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බවද දිසානායක මහතා පැවැසීය.  


මස් මාළුවලින් වැළකී සිටින තමා සත්ව ඝාතනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අයකු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.