විදුලි ප්‍රශ්නයට ඉංජිනේරුවන්ගෙන් විසඳුමක්


දයාසීලි ලියනගේ

විදුලි බිල වැඩි නොකර විදුලිය කළමනාකරණය කර බෙදාහරින ලෙස විදුලි ඉංජිනේරු සංගමය ලංකා විදුලි බල මණ්ඩලයට යෝජනා කර ඇත.

ලබන වසරේ විදුලිය කපාහැරීමකින් තොරව ලබාදීම සඳහා විදුලි බිල වැඩි කිරීමට සිදුවන බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැඩි මිලට හදිසි මිලදී ගැනීම් සඳහා වන අතර ඉන්ධන හා ගල් අඟුරු හිඟයත් ජලාශවල ජලය හිඟවීමත් නිසා විදුලිය කැපීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් කීය.  


විදුලි බිල වැඩි කිරීමක් කළහොත් එමගින් රටේ ලොකු කුඩා සියලුම ව්‍යාපාර තවදුරටත් වසා දැමීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දී ඇත.  


මේ වන විට අවශ්‍යතාවයෙන් සියයට 70ක් ජල විදුලිය යොදා ගන්නා අතර මෙම තත්ත්වය ලබන වසර මුල් කාර්තුව වන තෙක් රඳවා ගැනීමට නොහැකි වන බවද විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දී ඇත. මෙ. වොට් 150ක හදිසි විදුලිය මිලදී ගැනීමක් කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.  


දිනකට පැය 2ක පමණ කාලයක් විදුලිය කපා හැරීම සිදුකර දිගටම විදුලිය කළමනාකරණය කර ගත යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.