විදුලි සැර වද්දන විදුලි බිලක්


බිල වැඩි කිරීම ඉහළම ගණනකින්

(දයාසීලි ලියනගේ)  

මාසික විදුලිබිල සියයට 650කින් හා අවමය සියයට 21කින් වැඩි කිරීම සඳහා වන විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.  


විදුලිබිල වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෙසේය.  

 

ඒකක 30ට අඩු පාරිභෝගිකයන් සඳහා ඒකකය රුපියල් 2.50 සිට 5.50 දක්වා වැඩි කිරීමටත් ස්ථාවර ගාස්තුව රුපියල් 30.00 සිට 290 දක්වා වැඩි කිරීමටත් යෝජනා වේ.  

ඒ අනුව වැඩිවීම සියයට 550කි.  


ඒකක 31 ත් 60 ත් අතර ඒකකයකට 4.85ක ප්‍රමාණය රුපියල් 10.00 දක්වා වැඩි කිරීම මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60 සිට 600 දක්වා වැඩි කිරීම ඒ අනුව වැඩිවීම සියයට 650කි.  


ඒකක 61 සිට 90 දක්වා ඒකකය රුපියල් 10.00 සිට 15.50 දක්වා ද මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 90.00 සිට 850 දක්වා ද වේ. මිල වැඩිවීම සියයට 175කි. ඒකක 91 සිට 120 දක්වා ඒකකය 27.75 සිට 34.50 දක්වා ද මාසික ගාස්තුව 480.00 සිට 1150 බැගින්ද වේ.  


වැඩිවීම සියයට 80කි. ඒකක 121 සිට 180 දක්වා ඒකකය රුපියල් 32.0

0 සිට රුපියල් 34.50 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට 1150 දක්වාද වේ. වැඩිවීම සියයට 50කි.  
ඒකක 180 ට වැඩි ඒකකයක් රුපියල් 45.00 සිට රුපියල් 48.00 කි. මාසික ගාස්තුව රුපියල් 540 සිට 1200කි. වැඩිවීම සියයට 21කි.  


මීට අමතරව ආගමික ස්ථානවල විදුලි බිල සියයට 100කින්ද කර්මාන්ත ආයතනවල විදුලි බිල සියයට 40 කින්ද, හෝටල්වල විදුලි බිල සියයට 27කින් ද රාජ්‍ය ආයතනවල විදුලි බිල සියයට 25කින්ද වැඩි කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇත.  


මෙම මිල වැඩි කිරීම මගින් මණ්ඩලය වසරකට රුපියල් කෝටි 15,000ක ආදායම ඉහළයාමක් බලාපොරොත්තු වන බව වාර්තා වේ.  


එහෙත් මහජන උපයෝගිතා කොමිසම මෙම විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලියට සම්පූර්ණ අනුමැතිය ලබා නොදෙන අතර මීට වඩා අඩු බිල් ක්‍රමයක් තීරණය කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.