ශ්‍රීලනිපය සහභාගී වෙයි
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමැති වාසුදේව නානායක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ වෙනුවට, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයන් දෙදෙනකු පමණක් සර්වපාක්ෂික සමුළුවට යැවීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊට සහභාගි වනු ඇතැයි දැනගන්නට ඇත.
එසේ වුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.
රටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර, ඊට සහභාගිවන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ආණ්ඩුව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැඳවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.
රට තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ බොරුවට බවද ඔහු සඳහන් කළේය.
රටම ආණ්ඩුවට බණින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැණුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය.