වියදම් - විදුලිය ඉතිරි කරන පියවරක් රාජ්‍ය සේවය දවස් හතරයි


අජන්ත කුමාර අගලකඩ

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය  වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සතියට දින හතරකට සීමා කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මීට අදාළ කැබිනට් සංදේශයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ඒ සඳහා රාජ්‍ය ආයතන වලට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.

ඉන්ධන අර්බුදය මෙන්ම, රාජ්‍ය ආයතනවල විදුලිය, ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යන වියදම් සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතව ඇත.


රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සීමා කරන ලෙසට දන්වමින් රාජ්‍ය, පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් ඉකුත් මැයි මස 25 වැනිද‌ා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලැබූ අතර, එම චක්‍රලේඛයට අනුව අත්‍යවශ්‍යම සේවකයන් පමණක් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට හිමිවේ. ඒ අනුව යමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාල වල සේවකයන් කැඳවීම  සතියකට දින හතරකට දැනටමත් සීමා කර ඇති අතර, සිකුරාදා දිනය ඔවුන්ට නිවසේ සිට වැඩි කරන දිනයක් ලෙස ලබාදී ඇත.


රාජ්‍ය සේවකයන් සියලු දෙනා ආයතන වලට කැඳවීමෙන් වන වියදම් මෙන්ම ආයතනවල විදුලිය, ජලය සහ අනෙකුත් සේවා කටයුතු සඳහා විශාල වියදමක් දැරීමට සිදුව ඇති බැවින්, මේ අවස්ථාවේ එය පාලනය කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අදහස වී ඇත.