විසි දෙක තුනෙන් දෙකෙන් සම්මතයි


පක්ෂව ඡන්ද 179 යි

විපක්ෂව ඡන්ද 01 යි

අජන්ත කුමාර අගලකඩ

විසිදෙක වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදි පෙරේදා (සිකුරාදා) තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය.


පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර,  විරුද්ධව ඡන්ද 01 ක් ලැබිණි.

මෙහිදී විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය.  
චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මහත්වරු පනතට පක්ෂව ඡන්දය දුන්හ. දෙමළ සන්ධානය මෙහිදී දෙකට බෙදුණු අතර පිරිසක් පක්ෂව ඡන්දය දුන් අතර ඉතිරි පිරිස සභාවේ නොසිටියහ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන් අතර, දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.   


විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ දිගින් දිගටම අදහස් දැක්වූ නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා සහාය දීමට තීරණය විය.   


එම රැස්වීමට සහභාගි වූ හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන්ගේ වගකීම තමා භාර ගන්නා බැවින් විසිදෙවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන ලෙසය.