වීදි ලාම්පු ඇතුළු අනවසර විදුලියෙන් වසරකට කෝටි 2 ක් අහිමියි


දයාසීලි ලියනගේ

වීදි ලාම්පු ඇතුළුව අනවසර විදුලිය පාවිච්චි කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් අහිමි වන බව වාර්තා වේ.  

මෙම අලාභය පිළිබඳව පැහැදිලිව ගණන් බැලීමක් සිදුකර නැති අතර විදුලිය ජනනය කරනු ලබන ප්‍රමාණය අනුව දළ වශයෙන් ගණන් බැලීමක් කළ හැකි බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


2021 වසරේදී නීති විරෝධී විදුලිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 149 ක් සිදුකරනු ලැබුවත් වීදි ලාම්පු වෙනුවෙන් වගකිවයුත්තකු නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.  


බොහොමයක් අවස්ථාවල මෙවැනි නීති විරෝධී ලෙස විදුලිය බෙදා හැරීම්වලට බාධා කරනු ලැබුවත් නැවත, නැවත එය සිදුවන බවද ඔහු කීය. දේශපාලන බලපෑම් හා ගම්වාසීන්ගේ අනුග්‍රහයෙන් මෙවැනි නීතිවිරෝධී දේ සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ද වාර්තා වේ.  
මෙවැනි නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි නොලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.