(මහින්ද නිශ්ශංක)
සුදු සීනි කිලෝවක පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙෙළඳපොළේ සිතූ මිලට සුදු සීනි අලෙවි කරන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
රුපියල් 99.00 ක් කර ඇති සුදු සීනි කිලෝවක පාලන මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කළ අතර, මේ වනවිට සුදු සීනි කිලෝවක් රුපියල් 112, 115, 120 හා 130 වශයෙන් විවිධ මිල ගණන්වලට අලෙවි කරන බවද පාරිභෝගිකයෝ පවසති. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල රුපියල් 300ක භාණ්ඩ මිලදී ගත් පාරිභෝගිකයකුට රුපියල් 99 බැගින් සුදු සීනි කිලෝවක් ලබා දෙන බවද සඳහන් වේ.
මේ අතර ලංකා ස.තොස. අලෙවිසල්වල දැනට මාසයක පමණ සිට සුදු සීනි හිඟයක් පවතින බවද පාරිභෝගිකයෝ කියා සිටිති. මේ පිළිබඳව කළ සොයා බැලීමේදී ලංකා ස.තො.ස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ මාසයක පමණ කාලයක සිට ස.තො.ස. අලෙවි සල්වල සුදු සීනි හිඟයක් පවතින බවයි. ලංකා ස.තො.ස. මගින් සුදුසීනි කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 101 කට බැවින් එම මිලට වඩා අඩු මිලට සීනි අලෙවි කිරීමට නොහැකි බවද ඔහු කීය.
දැනට සුදු සීනි අපනයනය අත්හිටුවා ඇති අතර මේ වනවිට මාස දෙකකට ප්රමාණවත් සුදුසීනි තොග ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් සතුව පවතින බවත් වාර්තාවේ. ඉකුත් 29 වැනිදා වනවිට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 120ක් වී තිබූ බව ආනයනකරුවෝ පවසති.