වේල් තුනම කාපු පවුල් ලක්ෂ 9 ක් එක වේලට වැටිලා


ලක්ෂ හතකට රැකියාත් නැතිවෙලා

සුජිත් හේවාජුලිගේ

රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17 න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්ත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර රටේ ඉතා කුඩා පරිමාණ ව්‍යාපාර නවලක්ෂ තිස්පන් දහසෙන් දෙලක්ෂ අසූදහසක් ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.  


කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසූ එක්දහස් පන්සියයෙන් සියයට 20 ක් එනම් දහසය දහස් තුන් සියයක් ද ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී යාමේ අවදානමකට ලක්ව ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙම ව්‍යාපාර වැසී යෑමෙන් පුද්ගලයන් ලක්ෂ හතකට ඍජුවම රැකියා අහිමි වී ගොස් ඇති බව ද ප්‍රකාශ කළේය.  


මේ ව්‍යාපාරික ස්ථානවල ලක්ෂ තිහකට වැඩි පිරිසක් රැකියා කරන බවත් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය සහ සේවක පඩිනඩි ගෙවීමේ අපහසුතා යනාදී හේතු සැලකිල්ලට ගෙන එම ආයතන මෙසේ වැසී ගොස් ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසීය.