(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 9 දෙනෙක්ම රජයට සම්බන්ධ වී සිටීම පිළිබඳව පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට කරුණු දැක්වීමට ඔවුන් තීරණය කර ඇත.
දැනට පක්ෂයේ ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් 5 දෙනා රජයට සම්බන්ධ වූ පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක් නොපවත්වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා කීය. ඇමැතිකම් භාර ගත් පිරිස ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා කල් ඇතිව දැනුවත් කළ අතර මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත් ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසී ඇති බවද සඳහන් කරයි.
විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන අතර දැනට රටේ පවතින තත්ත්වය යටතේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහාය දැක්වීම සඳහා ඇමැති තනතුරු හා නියෝජ්‍ය ඇමැති තනතුරු භාර ගැනීමට තීරණය කළ බව ද සඳහන් වේ.
දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර හා චාමර සම්පත් සහ මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමැති තනතුරු ලබාදීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය ඇමැතිවරුන් ලබන සතියේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
පවතින තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වීමක් හෝ පරිහානියක් ලෙස සැලකිය යුතු නොවන අතර පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීමට උපකාරීවීමටත් පක්ෂයේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටත් බලපොරොත්තු වන බවද සඳහන් වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව ඇතැම් අය, පක්ෂයේ පැරණි සාමාජිකයන් ඉවත් කර ඉස්මතු වීමේ වැඩපිළිවෙළක් උපාය මාර්ගිකව ක්‍රියාත්මක කරමින් සිටින බවටද වාර්තා වී ඇත.