සහනාධාර ලාභීන් අඩු කරන්න යයි


රජය පටි තද කරයි

(දයාසීලි ලියනගේ)  

සහනාධාර හෝ සුබසාධන වැඩසටහන් සඳහා දැනට අනුමත ප්‍රතිලාභීන් හැර වෙනත් කිසිදු වැඩසටහනකට මුදල් වෙන් නොකළ යුතු බව මුදල් අමාත්‍යංශය මගින් සියලුම අමාත්‍යංශ හා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.  

යම් නීතියක් මගින් සම්මත කර හෝ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති සහනාධාර හැර වෙනත් කිසිදු සහනාධාරයක් හෝ සුභසාධන වැඩසටහනක් සඳහා මුදල් වැය නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් උපදෙස් ලබාදෙනු ලැබ තිබේ.  


අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවහොත් මිස ක්‍රියාත්මක වන සහනාධාර වැඩ සටහන් දැනට අනුමත ප්‍රතිලාභීන් සංඛ්‍යාවට පමණක් සීමා කළ යුතු බව ද ආටිගල මහතා සඳහන් කරයි. මීට අමතරව දැනට සිටින ප්‍රතිලාභීන් පිළිබඳව නැවත සමාලෝචනය කර නිසි අධීක්ෂණයකින් යුතුව ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගතයුතු බවත් ප්‍රතිලාභ අවශ්‍ය නොවන පුද්ගලයන් එම වැඩසටහන් වලින් ඉවත් කළ යුතු බවත් සඳහන් කර ඇත.