අංජුල මහික වීරරත්න
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල එකඟතාව ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මියුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.
රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සූදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8 ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණ.