සීනි පාලන මිල යළිත් ඉවතට?


කිලෝව 135 සිට 160 දක්වා මිලට විකිණෙයි

(මහින්ද නිශ්ශංක)  

යළි සීනි පාලන මිලෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

සීනි පාලන මිල ඉවත් කරන ලෙස ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් 10 දෙනකු පසුගියද‌ා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර රුපියල් 116 ක තොග පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බව ඔවුන් මීට පෙර ප්‍රකශ කර තිබුණි.  


 මේ වන විට රට පුරා සීනි හිඟයක් පවතින අතර පාලන මිලට වඩා සීනි කිලෝවක් රුපියල් 135, 140, 150 සහ 160 වශයෙන් වැඩි මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.  


 ඉකුත් සැප්තැම්බර් 2 වැනි දින සිට සීනි සිල්ලර මිල රුපියල් 122.00 ක පාලන මිලක් ද තොග මිල සඳහා කිලෝවක් රුපියල් 116.00 ක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.  


මීට පෙර සීනි කිලෝවක් සඳහා රුපියල් 100 ක පාලන මිලක් ක්‍රියාත්මක වූ අතර පසුව උපරිම සිල්ලර මිල රුපියල් 85.00 ක් ලෙස නියම කෙරණි. අනතුරුව සිල්ලර පාලන මිල රුපියල් 85.00 සිට 122 දක්වා වැඩිකරනු ලැබීය.